ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව

 සෑම වසරකම දිස්වන, සක්‍රීයතම සහ දර්ශනීයම උල්කාපාත වර්ෂාව හෙවත් ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව මේ වන විට ආරම්භ වී ඇත. සාමාන්‍යයෙන් දෙසැම්බර් මස 4 වන දින සිට 17 වන දින පමණ දක්වා කාලය තුළ නිරීක්ෂණය කළ හැකි අතර දෙසැම්බර් 13-14 කාලයේ උච්චතම අවස්ථාවට ළඟාවේ. උල්කාපාත වර්ෂාව උපරිම අවස්ථාවේදී පැයකට උල්කාපාත 100-120 පමණ ප්‍රමාණයක් නිරීක්ෂණය කළ හැකි වනු ඇත.

උල්කාපාත වර්ෂා නම් කරනු ලබන්නේ රාත්‍රී අහසේ උල්කාපාත වර්ෂාව හටගන්නා ප්‍රදේශයේ ඇති තාරකා රාශිය පදනම් කරගෙනය. (මෙසේ උල්කාපාත වර්ෂාව ඇරඹෙන්නාක් මෙන් පෙනෙන ස්ථානය Radiant හෙවත් විමෝචන ලක්ෂය ලෙස හඳුන්වයි). ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව, Gemini හෙවත් මිථුන රාශිය ආසන්නයෙන් දර්ශනය වන නිසා මෙසේ නම් කර ඇත.  3200 Phaethon නම් අති විශාල ග්‍රාහකයෙන් කැඩී වෙන් වූ කුඩා කොටස් විසිරී ඇති මාර්ගයක් හරහා පෘථිවියට ගමන් කිරීම හේතුවෙන් එම ග්‍රාහක කැබලි පෘථිවි වායුගෝලයට ඇතුළු වී ගිනිගෙන විනාශ වීම මෙහිදී සිදු වේ. සාමාන්‍යයෙන් මෙසේ ඇතුළු වන උල්කාපාතයකට තත්පරයට කිලෝමීටර 35ක පමණ වේගයක් ඇත. සාමාන්‍යයෙන් උල්කාපාත විවිධ වර්ණයන්ගෙන් දැකගත හැකිය. ඒ දැවී විනාශ වන විවිධ පාෂාණ වල අඩංගු රසායනික සංයුති හේතුවෙනි. (සෝඩියම් - තැඹිලි, යකඩ - කහ, රතු වායුගෝලීය නයිට්‍රජන්, ඔක්සිජන් ආදිය)

මෙම වසරේ උල්කාපාත වර්ෂාවේ විශේෂත්වය වන්නේ එහි උච්චතම අවස්ථාව අමාවක දිනක යෙදී තිබීමයි. එනිසා සාමාන්‍ය දින වලට වඩා අහස අඳුරු වන නිසා ඉතා හොඳින් ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව මෙවර නිරීක්ෂණය කළ හැකි වේ.

උල්කාපාත වර්ෂාව නැරඹිය හැක්කේ කෙසේද?

රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමට නම් ප්‍රථමයෙන්ම අහස හොඳින් දර්ශනය වන ස්ථානයක් තෝරාගත යුතුය. මෙහිදී බාහිර ආලෝක ප්‍රභව (විදුලි බල්බ ආදිය) ඉතා අවම පරිසරයක් තෝරාගත යුතුය. නැතහොත් අඳුරු අහසට ඇස් හුරු කරගැනීමට අපහසු වීම නිසා හොඳින් රාත්‍රී අහස දර්ශනය නොවිය හැක.

උල්කාපාත වර්ෂාව නැරඹීමේදී ඔබට දීර්ඝ කාලයක් ඉහල අහස දෙස බලා සිටීමට සිදුවේ. එනිසා ගෙලෙහි අපහසුතා මගහරවා ගැනීමට ඒ සඳහා සුදුසු ආසනයක් සකස් කරගැනීමට වගබලා ගතයුතුය.

අඳුරට ඇස් හුරු කරගැනීම සඳහා මිනිත්තු 10-20 පමණ අහස නිරීක්ෂණය කරන්න. එවිට තාරකා සාමාන්‍යයෙන් දර්ශනය වනවාට වඩා පැහැදිළිව හා වැඩි ප්‍රමාණයක් දර්ශනය වීමට පටන් ගනු ඇත. දැන් ඔබට උල්කාපාත වර්ෂාව ඉතාම පැහැදිලිව නැරඹීමට හැකිවනු ඇත.

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව ඇති වන්නේ මිථුන රාශිය අසලින්ය. එනිසා ප්‍රථමයෙන් මිථුන රාශිය සොයාගත යුතුය. මිථුන රාශිය මේ දිනවල සාමාන්‍යයෙන් රාත්‍රී 11 පමණ වන විට ඊසානදිග අහසේ සාමාන්‍ය උසකින් දර්ශනය වේ (ක්ෂිතිජයේ සිට 45° පමණ උසකින්). එය රාත්‍රී 2 පමණ වන තෙක් අහසේ ඉහළට ගමන් කර ඉන්පසු වයඹ දෙසින් බැස යයි. 

මිථුන රාශිය සොයාගැනීමට අපහසු නම් ඒ සඳහා ඔරායන් තාරකා රාශිය උදව් කරගත හැකිය. මිථුන රාශිය ඔරායන් රාශියේ සිට මදක් ඊසාන දෙසට වන්නට පිහිටයි.

මිථුන රාශියේ හිස ප්‍රදේශය අවට විමසිලිමත්ව බලා සිටීමෙන් උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කළ හැකිය.

ඔබ ජංගම දුරකථනයක Star Map App එකක් තරු හඳුනා ගැනීමට භාවිතා කරන්නේ නම් එහි Night Mode Option යෙදුම භාවිතා කරන්න. එවිට තිරයේ දිස්වන්නේ රතු පැහැයෙන් වන අතර එනිසා ජංගම දුරකථන ආලෝකය නිසා ඇස් ආලෝකයට හුරු වීම අවම වී රාත්‍රී අහස බාධාවකින් තොරව නිරීක්ෂණය කිරීමට අවකාශ ලැබෙනු ඇත.


Article by : Supul Edirisinghe

Design  by : Vidheesha Abeysinghe

Read on Facebook